Sports

හයිද්‍රාබාද් පිලට ලකුණු 133 ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (2019) 33 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර හයිද්‍රාබාද්හිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට චෙන්නායි පිල ඕවර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 132 ක් රැස්කළේය.හයිද්‍රාබාද් පිල ජයග්‍රහණය සඳහා ඕවර 20 දී ඕවරයකට ලකුණු 6.65 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 133 ක් පමණක් රැස්කළ යුතුය.චෙන්නායි පිල ලකුණු 80 සිට ලකුණු 100 දක්වා ලකුණු 20 රැස්කිරීමට පන්දු 26 ක් වැය කිරීමත්, මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීමත් නිසා පහසුවෙන් ලකුණු 175 ක් හෝ ඊට වැඩියෙන් රැස්කිරීමට තිබූ අවස්ථාව මඟ හැරුණි.චෙන්නායි පිල පළමු ඕවර 10 අවසන් වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 80 ක් ලබා සිටිය ද අවසන් ඕවර 10 ට ලකුණු 52 ක් පමණක් ලබාගත්තේය.ඇෆ්ගනිස්තානු දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඞ් ඛාන් පන්දු යැවීම ආරම්භ කිරීමත් සමඟ ලකුණු වේගය අඩාල විය. රෂීඞ් ඛාන් ඕවර හතරේදී ලකුණු 17 කට කඩුලු දෙකක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වීම චෙන්නායි පසුබෑමට හේතු බවට විය.  සුරේෂ් රයිනා ලකුණු 13 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑම චෙන්නායි පිලට දැඩි පාඩුවක් බවට පත්විය.ෂේන් වොට්සන් පන්දු 29 කින් ලකුණු 31 ක් රැස්කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 30 කදී ලකුණු 45 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ප්ලීසිස්ගේ ඉනිමට හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත විය. චෙන්නායි පිලේ ආරම්භක පිතිකරුවන් වූ ෂේන් වොට්සන් සහ ෆෆ් ඩූ ප්ලීසිස් යුගළ පන්දු 59 කින් ලකුණු 79 සම්බන්ධතාවක් පවත්වමින් ප්‍රබල තත්ත්වයකට රැගෙන ආව ද සෙසු පිතිකරුවෝ එය රැකගැනීමට අසමත් වූහ.

චෙන්නායි පිලේ තාවකාලික නායක සුරේෂ් රයිනා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.චෙන්නායි පිලේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි ආබාධයක් හේතුවෙන් විවේක ගෙන සිටි අතර එංගලන්ත ක්‍රීඩක සෑම් බිලින්ස් කඩුලු රකින්නා ලෙස කටයුතු කරයි.මහේන්ද්‍ර සිං දෝනි 2010 වසරෙන් පසුව පළමු වරට අයි.පී.එල්. තරගයකින් ඉවත්ව සිටීම කැපී පෙනේ.චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලු 5 ට 132(ෂේන් වොට්සන් 31, ෆෆ් ඩූ ප්ලීසිස් 45, අම්බාටි රයිදු නොදැවී 25, රෂීඞ් ඛාන් 17/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *