දිමුත් කරුණාරත්නට කණ්ඩායම එකමුතුව තබා ගැනීමේ හැකියාව තිබීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නායකයා ලෙස පත්කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින සංචිතය නිල වශයෙන් නිවේදනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (18) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අසන්ත ද මෙල් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය. දිමුත්ට කණ්ඩායම එකමුතුව තබාගැනීමේ හැකියාව ඇති බව දකුණු අප්‍රිකානු සංචාරයේදී ප්‍රදර්ශනය කළා. ඒ නිසා අපි ඔහුට නායකත්වය පැවරුවා. මේ වෙලාවේ අපිට අවශ්‍ය තිබෙන්නේ කණ්ඩායම එකමුතුව ගෙන යෑමයි. ඒක දිමුත්ට කරන්න පුළුවන්, ඒ කොහොමද කියලා මම දන්නේ නෑ. නමුත් ඔහු එය පෙන්නලා තියෙනවා”“මම මාලිංගට දුරකථනයෙන් කථා කළා. මම ඔහුට කිව්වා අපිට ඔහුගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒත් මේ වෙලාවේ අපිට ඕනේ කණ්ඩායම එකමුතුව යන්න කියලා. ඔහුගේ ඇතැම් ගැටලු පිළිබඳව අපිට අවබෝදයක් නෑ”නායකයා හැටියට ඔහු ඉදිරියෙන් යනවා. නමුත් ඉතිරි දසදෙනා පස්සෙන් එන්නේ නෑ. ඒ විදියට තව දුරටත් ඉදිරියට යන්න බැරි බව මම පැහැදිළි කළා” යැයි අසන්ත මහතා නායකත්ව පිළිබඳව වැඩි දුරටත් පැවසීය. ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම පිට දඟ පන්දු යවන්නා වන අකිල ධනංජය මෙම සංචිතයට ඇතුළත් නොවීම ඇතුළු කණ්ඩායමේ සංයුතිය පිළිබඳව තේරීම් කමිටු සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය. “ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය යන දෙන්නටම මේ කණ්ඩායමේ අවස්ථාවක් නෑ. අකිල අතිරේක ලැයිස්තුවේ ඉන්න බෑ, එහෙනම් ඔහු කණ්ඩායමේ ඉන්න ඕනේ. අකිල පන්දු යැවීමේ ඉරියව්ව සකස් කරගැනීමෙන් පසුව පැරණි විදියට පන්දු යවන්නේ නෑ. ඇත්තටම කිව්වොත් පැරණි රිද්මය නෑ. අපි ඒ පිළිබඳව අවධානය යොමු කළා”“තේරීම් කමිටුව හැටියට අපි ධනංජය සහ අකිල පිළිබඳව අවධානය යොමු කළා. අකිලට වඩා ඉදිරියෙන් ධනංජය ඉන්න බව අපිට පෙනී ගියා. අකිල පළාත් තරගාවලියේ අවසන් තරගයේදී ද දස්කම් දැක්වුයේ නෑ. ධනංජය පන්දු 26 කින් කඩුල්ලක් දවාගන්න විට අකිල පන්දු 50 කින් කඩුල්ලක් දවාගන්නවා. අපිට පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකු අවශ්‍ය නෑ”“පැවැති කණ්ඩායමේ විශාල වෙනසක් වෙලා කියලා කියන්න බෑ. ආරම්භක පිතිකරුවන්ගේ තමයි වෙනසක් වෙලා තියෙන්නේ. දික්වැල්ල සහ ධනුෂ්ක දස්කම් අතර නෑ. ආරම්භක පිතිකරුවන්ගේ ප්‍රශ්න නිසා පසුගිය තරගවලදී ඕවර 10 ක් වන විට කඩුලු දෙක තුනක් දැවී ගියා”“දැන් අවශ්‍ය නම් දිමුත් සහ අවිෂ්කට ඉනිම ආරම්භ කරලා තිරිමාන්නට අංක තුන ගහන්නන් පුළුවන්. එහෙම නැත්තම් කුසල් ජනිත්ට ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්න පුළුවන්”

“මිලින්ද කණ්ඩායමට ගෙනාවෙ කණ්ඩායම සමබර කරන්නයි. ජීවන් මෙන්ඩිස්ට පන්දුවට පහර දෙන්නත් පුළුවන්. අංක හය පන්දුවට පහර දෙන ක්‍රීඩකයාට පන්දු යවන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නොවුණොත් සමබරතාව පවත්වාගෙන යන්න බැරි වෙනවා. දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානයක් දෙන්න බෑ. එහෙම වුණොත් කණ්ඩායම සමබර වෙන්නෙ නෑ”අපි උප නායකයෙක් පත්කර නෑ. එය විවෘතව තිබෙනවා. අවශ්‍යතාවක් වුණොත් තරගයෙන් තරගයට උප නායකයා නම් කරනවා” යැයි අසන්ත ද මැල් මහතා වැඩි දුරටත් පැවසීය.  නායකත්වයෙන් ඉවත්කිරීම නිසා මාලිංග කණ්ඩායමෙන් ඉවත් වන බවට පැතිර යන වාර්තා පිළිබඳව එම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මෙසේ පැවසීය. “ලෝක පූජිත ක්‍රීඩකයෙක් වුණ පළියට හොඳ නායකයෙක් වෙන්නේ නෑ. හොඳ නායකයෙක් ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන්නෙත් නෑ. මාලිංගට තරග 12 ක් ලබා දුන්නා. එහිදී සාර්ථකත්වයක් පෙන්නන්න මාලිංග අපොහොසත් වුණා“මාලිංග 15 දෙනාට ඇතුළත්ව ඉන්නවා. ඔහු තමයි අපේ ලෝක පූජිත ක්‍රීඩකයා. අයි.පී.එල්. තරගාවලිය අවසන් වන තෙක් අපි ඔහුට අවස්ථාව දීලා තියෙනවා. ඔහු බෑ කිව්වොත් අපිට කරන්න දෙයක් නෑ. මාලිංග තුවාල වුණොත් අපි වෙන කෙනෙක් ආදේශ කරන්න එපැයි. අපි ඔහුට ආයාචනා කරනවා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න කියලා. මම හිතනවා මාලිංග කණ්ඩායමත් එක්ක ලෝක කුසලාන තරගාවලියට යයි කියලා”නව එක්දින නායක දිමුත් කරුණාරත්න පැවසුවේ පුහුණුකරු සහ තේරීම් කමිටුව සමඟ එකතුව කණ්ඩායම සමගි කරමින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවයි. “දකුණු අප්‍රිකානු සංචාරයේදී නාකයත්වය ලැබෙන විටත් මගේ එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැන් මට එක්දින නායකත්වයත් ලැබී තියෙනවා. එයට මම සුදුසුයි සහ හොඳට කරලා තියෙනවා කියන හේතු නිසා වෙන්න ඇති මට අවස්ථාව දීලා තියෙන්නේ. සහයෝගයෙන් වැඩ කරන්න තමයි මුල්ම අවශ්‍යතාව” ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන්නන් වන ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන වසර කීපයකට පසු නැවත කැඳවා තිබේ. නායකත්වයෙන් ඉවත් කළ ලසිත් මාලිංග සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස සංචිතයට ඇතුළත්ව සිටියි. හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්, හිටපු උප නායක නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග සහ අකිල ධනංජය මෙම සංචිතයට ඇතුළත්ව නැත.ලෝක කුසලාන තරගාවලිය මැයි මස 30 වැනිදා ආරම්භ වන අතර ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජූනි මස 01 වැනිදා කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල මැයි මස 6 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිත අතර ඊට පෙර දඹුල්ලේදී පුහුණු කඳවුරකටද සහභාගි වීමට ද නියමිතය.   ලෝක කුසලාන ක්‍රිකට් සංචිතය:දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්අතිරේක ක්‍රීඩකයෝ: ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ වනිඳු හසරංග