කොළඹ නගරයේ, මිගමුව කටුපිටිය සහ මඩකලපුව ප්‍රදේශයේ සිදුව ඇති පිපිරීම් වලින් මේ වන විට පුද්ගලයින් 150 කට අධික පිරිසක් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කොළඹ ජාතික රෝහල සඳහන් කර සිටියේ පිපිරීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් 49 දෙනෙකුගේ සිරුරු තැන්පත් කර ඇති බවයි. මිගමුව කටුපිටිය දේවස්ථානයේ ඇතිවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් 68 දෙනෙකු බව මිගමුව රෝහල සඳහන් කළා.

මේ අතර මඩකලපුව රෝහල් ආරංවි මාර්ග සදහන් කරන්නේ එහි පුද්ගලයින් 25 දෙනෙකුගේ සිරුරු තැන්පත් කර ඇති බවයි.

රාගම රෝහලේ මළ සිරුරු 07 ක්ද තුවාල ලැබුවෝ 04 ක් ද සිටින බවද වාර්තා වෙනවා.

මෙම ප්‍රහාර වලින් පුද්ගලයින් 500 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ කොළඹ ජාතික රෝහලේ පුද්ගලයින් 251ක්, මිගමුව රෝහලේ පුද්ගලයින් 150 කට ආසන්න පිරිසක් සහ මඩකලපුව රෝහලේ පුද්ගලයින් 75 ක් ලෙසයි.

මේ අතර පිපිරීම් සිදුවූ කොළඹ කොච්චිකඩේ දේවස්ථානය සහ ෂැංග්‍රිලා හෝටලය නිරීක්ෂණය කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සහ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ පැමිණයා.

මෙහිදී අපරාධ සිදුවු ස්ථාන නිරීක්ෂණ කිරිමෙන් අනතුරුව පොලිසියට නියෝග කරනු ලැබුවේ මියගිය පුද්ගලයින් ගේ මරණ පරීක්ෂණ සිදුකර එම වාර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර ඇත.